Fr. ඇලෝයි කියන්නෙ,
“සදාකාලික මනුස්සයෙක්”,
එහෙම මිනිස්සු මැරෙන්නෙත් නෑ, මරන්නත් බෑ!
ඇලෝයි නාමය, ඇලෝයි ප්‍රේමය, ඇලෝයි දර්ශනය, ඇලෝයි දැනුම, ඇලෝයි ගුණ සුවඳ සදාකල් පවතීවි.
ස්තූතියි ආදරණීය පියතුමෙනි.
විමුක්ති දේව ධාර්මික චින්තනයේ ආසියානු නුවණැස: ඇලෝසියස් පීරිස් පියතුමා
දරුවන් 12 දෙනෙකුගෙන් යුත් පවුලක දසවෙනියා ලෙස 1934 අප්‍රේල් 09 වනදා උපන් ඇලෝසියස් පීරිස් හැදුණේ වැඩුණේ මහනුවර අම්පිටිය ග්‍රාමයේය. අම්පිටිය සාන්ත මරියා විදුහල හා ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය. අම්පිටිය දෙව්සත්හල (එවකට පේපල් සෙමනේරිය) රැඳුණු එහි අපූරු පරිසරය හා බෞද්ධ වටපිටාව කුඩා කල ඔහුගේ කිතුනු චින්තනය සකස් කළේය.
පූජක පුහුණුවේ මුල් අවධිය
කුඩා කලදීම ස්වාමි කෙනෙකු වීමට ආශාවක් ඔහු තුළ ජනිත විය. මේ නිසාම වයස අවුරුදු 12 වන විට ලතින් භාෂාව ඉගෙන ගැනීමට ඔහුට උවමනා විය. ඒ සඳහා ඔහුට අම්පිටියේ එවකට තිබුණු ශුද්ධාසන දෙව්සත්හලේ ජේසු නිකායික ස්වාමි කෙනෙකු උදව් විය. මේ දරුවා කොතෙක් දක්ෂ වීද යත් වසර 2 ක් යන විට අලුත් ගිවිසුම හා ක්‍රිස්තු අනුසාරය ලතින් භාෂාවෙන් කියවන්න හැකි විය. මේ කාලය වන විට ඇලෝසියස්ගේ පියා ඉංග්‍රීසි භාෂා පාසලේ ප්‍රධානාචාර්යවරයෙකු වූවද ජාතික නිදහස පිළිබඳ හැඟීම්වලින් පිබිදුණු භාෂා ප්‍රේමියෙකු හා දේශප්‍රේමියෙකු විය. දරුවා යන පාර ඔහුට ඇල්ලුවේ නැත. ඒත් ඉගෙනීමට උනන්දුව දක්වන ඔහුට බාධා කළේ ද නැත. එහෙත් පාලි භාෂා පඩිවරයෙකු මාර්ගයෙන් මේ දරුවාට පාලි උගන්වන්නට ඔහු කටයුතු කළේය. ඉන්පසු අවුරුදු 14 දී පමණ ගාල්ලේ පුංචි සෙමනේරියට ඇතුළු වන විට ඇලෝසියස් දරුවා පාලි හා ලතින් භාෂා දෙකම හොඳින් දැන සිටියේය. එවකට ඔහු අධ්‍යාපනය ලබමින් සිටි ශාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යක්ෂ පියතුමාව සිටි ගරු පර්නියෝලා ජේ. නි. පියතුමා ද පාලි භාෂා විශාරදයෙකු වීම ඔහුගේ ගමනට මනා පිටිවහලක් විය.
1953 වසරේ ලන්ඩන් උසස් පෙළින් සමත් වී ඉන්දියාවට ගොස් ජේසු නිකායට ඇතුළු විය. එහිදී L.Ph දර්ශන උපාධිය ලබා බ්‍රාහ්මණ පණ්ඩිතයෙකු යටතේ සංස්කෘත මාධ්‍යයෙන්ම සංස්කෘත භාෂාව හදාරා, යළි ලංකාවට පැමිණ පාලි හා සංස්කෘතවලින් බී. ඒ. උපාධිය ගෙන ඉන් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහලේ නේවාසිකාගාරය භාරව කටයුතු කරමින් ද, එම පාසලේ ගණිතය හා පාලි භාෂාව උගන්වමින් ද වසරක් ගත කළේය.
දේව ධර්මය හැදෑරීම හා දේව ධර්මය කිරීම
පසුව දේව ධර්මය අධ්‍යයනය සඳහා ඉතාලියේ නේපල්ස්හි ජේසු නිකායිකයින් යටතේ තිබූ ශුද්ධාසන දේව ධර්ම පීඨයට (Pontifical Theological Faculty) ඇතුළත් විය. මෙය දෙවන වතිකානු කතිකාව පැවති යුගය විය. එබැවින් එම දර්ශනය හොඳින් උරා ගැනීමට අවස්ථාව ලැබිණි. ඉතාලියේ අධ්‍යයන කටයුතු කළ එම යුගය ඇලෝසියස් පීරිස් පියතුමාගේ ජීවිතයේ වැදගත් අත්දැකීම් රැසකට නිරාවරණය වූ යුගයක් විය. එහිදී ඉතාලි ජාතික තරුණ සංවිධානයක අධ්‍යාත්මික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. තවද රෝහල් රෝගීන් සඳහා ආගමික කටයුතු භාරව කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. එමෙන්ම ඉතාලියේ මුඩුක්කුවක ද වැඩ කළේය. දෙවන වතිකානු කතිකාවේ ආභාසය නිසා දේව ධර්ම පීඨයේදී බොහෝ වෙනස්කම් සිදු විය. ඒ නිසාම බොහෝ පර්යේෂණ හා අත්හදා බැලීම්වලට එතුමාට නිදහස ලැබිණි. ඒ අතරතුර වත්පිළිවෙත් ගැන බොහෝ කරුණු ගවේෂණය කළේය. ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ද ලැබීය. සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලද මෙතුමා ස්ටෙෆාන් පොරුධ්ශන් බයිබල විශාරදයා යටතේ හීබෲ භාෂාවෙන් ශුද්ධ ලියවිල්ල හැදෑරීම ද කළේය. යම් නිදහසක් ලැබුණත් ඇතැම් විට ප්‍රශ්න මතුවූ අවස්ථා ද නොතිබුණා නොවේ. එහෙත් හිටපු අධ්‍යක්ෂ පියවරු එතුමාව රැක්කහ; ඉදිරියටම තල්ලු කළහ.
දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ ස්ප්‍රීතුව හා මුසු දෙව්දහම් චින්තනය ද රැගෙන ඇලෝයි පියතුමා ලංකාවට ආවේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. ආ විගසම රාහුල, වාචිස්සර හිමිවරුන් යටතේ බුදුදහම පිළිබඳව Ph.D. විභාගයට පෙනී සිටියේය. දෙමටගොඩ ප්‍රදේශයේ මුඩුක්කුවල වැඩ කරන්නට පටන්ගත්තේ එසේ පර්යේෂණ කරන අතරමය. වෛද්‍ය ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැන්නන් සමඟ එම ප්‍රදේශවල සැරිසරමින් කළ කටයුතු ඇලෝයි පියතුමාගේ දේව ධාර්මික නැණැස තව තවත් මුවහත් කරන්නට සමත් විය. තවද තරුණ පිරිස් සමඟ ද විවිධ වැඩ කටයුතු ආරම්භ කළේය. ඒ අතර “Cineforum” නම් ලත් සිනමා විචාර මණ්ඩපයක් ආරම්භ කළේය. හැම සතියකම චිත්‍රපටයක් නරඹා ඒ පිළිබඳ විචාරාත්මක කතිකාවක් ගොඩනැගීම එහිදී සිදුවිය.
තුලන පර්යේෂණ ආයතනය බිහි කිරීම
1974 දී පියතුමා විසින් පිහිටුවන ලද තුලන පර්යේෂණ ආයතනය අන්තර් ආගමික අන්තර් නිකායික සංවාදය හා විමුක්ති කතිකාව පෝෂණය සඳහා ඉටු කරන ලද මෙහෙය අතින් ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ප්‍රමුඛ ආයතනය යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අන්තර්ජාතිකව ද ඉහළ පිළිගැනීමක් ඇති ආයතනයකි. බොහෝ විදේශිකයින් මෙම ආයතනය විවිධ පර්යේෂණ සඳහා භාවිත කොට ඇත.
තුලන වනාහි තවත් එක් මධ්‍යස්ථානයක් නොවේ. එය විමුක්ති අධ්‍යාත්මිකත්වය විශද කරන කලා, මූර්ති, චිත්‍ර ඇතුළත් සුවිසල් කලාගාරයක් බඳුය. ඒ සියල්ල තුළ ඇලෝසියස් පියතුමාගේ සාමයික, විමුක්ති දැක්ම ගැබ්ව පවතී. එහි බොහෝ නිර්මාණවලට බෞද්ධ පූජ්‍ය ස්වාමින් වහන්සේලා දායක වී ඇත. ශ්‍රී ලංකාවේ උතුරු දකුණු වෙනසක් නොමැතිව සිදුවූ අතුරුදන් කිරීම්වලින් අහිමි වූ මිනිසුන් ගැහැනුන් සිහි කිරීම සඳහා නිර්මාණය කර ඇති මූර්තිය ඉන් එකක් පමණි.
තුලන පර්යේෂණ මධ්‍යස්ථානය ලංකාවේ විශිෂ්ටතම පුස්තකාලයක් සහිත ස්ථානයක් පමණක් නොවේ. ඊට අනුයුක්ත වූ තුලන මාධ්‍ය අංශය විශාල තරුණ පිරිසකට සිනමා, ගුවන්විදුලි, නාට්‍ය, රංග කලා ආදී ක්ෂේත්‍ර ගණනාවක ඉදිරියට යාමට මඟපෙන්වූ ක්‍රියාවලියකි. එසේම උන්වහන්සේගේ මඟපෙන්වීම් යටතේ කැලණිය, ලුම්බිණි ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ශ්‍රවණ ඌන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය ශ්‍රව්‍ය හා කථන ආබාධිත ළමයින්ට සුවිශේෂී අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයකි.
පාලම් තනන්නා
ඇලෝයි පීරිස් පියතුමා බොදුනු-කිතුනු සංවාදයේ ඉහළම තලය හා පහළම තලය යන දෙකම තුළ භාවිතයේ යෙදුණෙකි. අන්තර් ආගමික සංවාදය මෙන්ම අන්තර් සභා සංවාදය මඟින් එතුමෝ ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශිකයන් තුළ ජනතා හදවත් යා කරන පාලම් තනන්නෙකු විය. එතුමාගේ සුවිශේෂී මෙහෙවරක් වූයේ විමුක්ති දේව ධර්මය හා ආසියානු දේව ධර්මය පිළිබඳ ලංකාවේ සියලුම පරම්පරාවලට අයත් වන පූජක, පැවිදි, ගිහි සියල්ලන් අතර ද එතුමා පාලම් තනන්නෙකු වීමයි.
විකල්ප ධාරාවේ පූජක, ගිහි, පැවිදි පිරිස් විවිධ තලයන්හිදී වාරණයට ලක්වෙද්දී එතුමා ඔවුන් සියල්ලන්ට ශක්තියක් විය. කීර්තිමත් දෙව් දහම්ධරයෙකු වූ ගරු තිස්ස බාලසූරිය පියතුමාව සභාවෙන් නෙරපීමේ උත්සාහයක් පැවති මොහොතක ගරු ඇලෝයි පියතුමා තමා උපයාගත් සියලු බුද්ධිමය ශක්තිය හා දෙස් විදෙස් සබඳතා භාවිත කරමින් කළ මැදිහත් වීම එකක් පමණි.
ගෝලීය ප්‍රාඥයා හා මුනිවරයා
ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම දේව ධර්ම ප්‍රාඥයා එතුමාය. එපමණක් නොවේ ගරු ඇලෝයි පීරිස් පියතුමා මෑත යුගයේ ලොව ජීවත්ව සිටි ප්‍රමුඛතම දේව ධර්ම ප්‍රාඥයා ලෙස හැඳින්විය හැකිය. එතුමා කිසි විටකත් සිය ප්‍රඥා මහිමයෙන් හිස උදුම්මාගත් කෙනෙකු නොවීය. ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කළ එතුමා තුලන අසපුවේ මධ්‍යස්ථානය තුළ මුනිවර ජීවිතයක් ගත කළේය. එතුමෝ වරෙක මෙසේ ප්‍රකාශ කළේය.
“ක්‍රිස්තියානියේ අනන්‍යතාවය යනු අල්පේච්ඡතාවය පමණක් නොවේ. දයාවේ සේවාව ද පමණක් නොවේ. බොහෝ ආගම් මේ ලෝකය තුළ එය සිදු කරයි. නමුත් ක්‍රිස්තියානිකාරයා දයාවේ ක්‍රියාවන් තුළ පමණක් නොනැවතී දරිද්‍රයාගේ අරගලය සමඟ එක්වෙමින් ඉන් දරිද්‍රයා මුදවාලීමට සටන් කරන්නෙක් ද වෙයි. සැබෑ කිතුනු අනන්‍යතාවය එයයි.”
ඇලෝයි පිය සම්ප්‍රදායක්
එතුමා විශිෂ්ට කෘති 30 කට වඩා ලියා පළ කර ඇති අතර පර්යේෂණ පත්‍රිකා 500 කට වඩා ඉදිරිපත් කර ඇත. ලිපි දහස් ගණනක් ලියා ඇති අතර ප්‍රකට දේව ධර්ම සඟරා ගණනාවක සංස්කාරකවරයා ලෙස කටයුතු කර ඇත. එසේම එතුමා ලොව ප්‍රකට විශ්වවිද්‍යාල හා ආයතන රැසක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර දෙස් විදෙස් සම්මන්ත්‍රණ, රැස්වීම් දහස් ගණනකට සම්පත්දායකයෙකු ලෙස දායක වී ඇත.
ඇලෝයි සුභාවිතය
ඇලෝයි පියතුමාගේ ශාස්ත්‍රීය ජයග්‍රහණයන්, ප්‍රඥාවන්ත භාවය ආදියත් එතුමාගේ බුදු දහම පිළිබඳ දැනුමත්, බොහෝ දෙනෙකු එතුමාව අගය කිරීම සඳහා භාවිත කරන මිනුම් දඬු වේ. නමුත් අපගේ ගෞරවාදරය එතුමාට හිමිවීමට ප්‍රධාන කාරණය වන්නේ ඒවා නොවේ. එතුමා සම්ප්‍රදායික බුද්ධිමතෙකු වූවා වෙනුවට ඓන්ද්‍රීය බුද්ධිමතෙකු ලෙස ක්‍රියා කිරීමයි. එනම් පවතින සමාජයේ අසාධාරණ ව්‍යුහයන් වෙනස් කිරීම සඳහා වන භාවිතයක් සමඟ තම ප්‍රඥාව මුසු කිරීමයි. එසේ නොවන්නට ආචාර්ය, මහාචාර්ය, දේව ධර්මාචාර්ය උපාධි ඇති දහස් ගණනක් අතර එතුමෝ තවත් එක් අයෙකු පමණක්ම වේ. නමුත් අපගේ ආදරය එතුමාට හිමි වන්නේ එකී සුභාවිතයේ වටිනාකම නිසාමය. එතුමා දැල්වූ ආලෝකය පීඩිතයාගේ විමුක්තිය සඳහා වූ අරගලය සමඟ බද්ධ කිරීම හැරුණු විට එතුමා සුරුවමක් බවට පත් කිරීම හෝ එතුමා සමඟ ඇති සබඳතා ඉස්මතු කර සැනසීම අර්ථ විරහිතය. එතුමාව අපට ජීවත් කළ හැක්කේ එතුමා දැල්වූ විමුක්ති ආලෝකය ජන අරගලය තුළ නොනැසී පවත්වා ගැනීමෙනි.
ගරු ඇලෝයි පීරිස් පියතුමෙනි ඔබට අපේ ආදරය.
ඇලෝයි පීරිස් නම් මුනිවර ප්‍රාඥයාගේ ජීවිතයේ සංක්ෂිප්ත හරස්කඩක්
නම: මේරියන් රෙජිනල්ඩ් ඇලෝසියස් පීරිස්
උපන් දිනය: 1934 අප්‍රේල් 09 දින
උපන් ස්ථානය: මහනුවර අම්පිටියේදී
පියා: ධජහෙට්ටි මුහන්දිරම්ගේ වෝල්ටර් ජෝන් පීරිස් (අම්පිටිය ඉංග්‍රීසි විදුහලේ විදුහල්පති)
මව: සේතුංග මුදලිගේ ඩෝන ඇන්සලමිනා
අධ්‍යාපනය:
- ප්‍රාථමික: අම්පිටිය ශාන්ත මරියා විදුහල
- ද්විතීයික: ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල
විශේෂ සන්ධිස්ථාන:
- වසර 12 දී ජේසු නිකායික පියතුමෙකු මඟින් ලතින් භාෂාව හැදෑරීය.
- ඒ සමඟම පාලි භාෂා පඩිවරයෙකු මඟින් පාලි භාෂාව හැදෑරීය.
- වසර 14 දී ගාල්ලේ ජේසු නිකායික පුංචි සෙමනේරියට ඇතුළත් විය.
- 1953 වසරේ ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් සමත් විය.
- 1959 දී ඉන්දියාවේ ෂෙම්බගනූර්හි පිහිටි දිව්‍ය පීඨයෙන් දර්ශනය පිළිබඳ L.Ph උපාධිය ලබා ගත්තේය.
- 1961 දී පාලි සහ සංස්කෘත භාෂාවන් සඳහා වන උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේය.
- 1964 දී සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ඉතාලියේ වෙනීසියේදී ලබා ගත්තේය.
- 1965 ජූලි 04 දින රෝමයේදී ජේසු නිකායික පියතුමෙකු ලෙස පූජකවරය ලැබීය.
- 1966 දී දේව ධර්මය පිළිබඳ උපාධිය ඉතාලියේ නාපොලි නුවර පිහිටි ශුද්ධාසන දේව ධර්ම පීඨයෙන් ලබා ගත්තේය.
- 1971 දී බෞද්ධ දර්ශනය සඳහා වන ආචාර්ය උපාධිය (Ph.D.) විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් අතර එය වනාහි බෞද්ධයෙකු නොවන අයෙකුට මෙරටදී පිරිනැමූ ප්‍රථම උපාධිය වෙයි.
- 1987 දී ටිල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් දේව ධර්මය සඳහා පිරිනමන හොනරිස් කෞසා (Honoris Causa) විශේෂ උපාධියකින් එතුමා පිදුම් ලැබීය.
- 1982 දී එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ ද, 1990 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ද, රෝමයේ ග්‍රෙගෝරියානු සරසවිවල ද කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.
- පිලිපීනයේ මැනිලා නුවර EAPI උසස් අධ්‍යාපන ආයතනයේ වසර 23 ක් පුරා කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.
- වොෂින්ටන් දේව ධර්ම සංගමයේ 1987 දී ද, නිව්යෝක් නුවර එක්සත් දේව ධර්ම සෙමනේරියේ 1988 දී ද එතුමා මහාචාර්ය පදවි දැරීය.
- Ecumenical Association of Third World Theologians (EATWOT) නම් වූ තෙවැනි ලොව දේව ධර්මාචාර්යවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය.
- වසර ගණනාවක් පුරා අන්තර්ජාතික දේව ධාර්මික සඟරාවක් වන Concilium හි කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.
- එමෙන්ම ශ්‍රී ලංකා සාමයික කේන්ද්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලොව පුරා විශ්වවිද්‍යාල ගණනාවකට බෙදාහරිනු ලබන Dialogue නම් සඟරාවේ කර්තෘ ලෙස කටයුතු කරයි.
- එතුමා ලන්ඩන් උදෙසා World Faith Encounter හි උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ද වෙයි.
- එතුමා තුළ වන අසමසම බහුනිපුණත්වයෙන් යුත් දැනුම් සම්භාරය බොහෝ පොත්පත් ප්‍රකාශයට පත් කිරීම මඟින් ලෝකයේ විවිධ ජනකොටස් සමඟ බෙදා ගැනීමට තරම් එතුමා නිහතමානී හා පරාර්ථකාමී ලේඛකයෙකු විය.
ග්‍රන්ථ සහ ප්‍රකාශන:
- 1988 An Asian Theology of Liberation (මෙය භාෂා නවයකින් පරිවර්තනය කර ඇත) ග්‍රන්ථය ද,
- 1988 දී Love meets wisdom: A Christian experience of Buddhism ග්‍රන්ථය ද,
- 1996 දී Fire and water: Basic issues in Asian Buddhism and Christianity ග්‍රන්ථය ද,
- 1999 දී God’s Reign for God’s poor: A Return to Jesus Formula ග්‍රන්ථය ද,
- 2000 දී Mysticism of service: A short Course on Christian Spirituality ග්‍රන්ථය ද,
- 2002 දී Christhood of Jesus and the Discipleship of Mary: An Asian Perspective ග්‍රන්ථය ද,
- 2004 දී Prophetic Humor in Buddhism and Christianity ග්‍රන්ථය ද,
- නාසරතයේ ජේසුස් හා භාරතයේ යේසුස් නමින් සිංහල ග්‍රන්ථයක් ද එතුමා ලියූ ග්‍රන්ථ අතර ප්‍රධාන වෙයි.
- නමුත් මේ වන විට එතුමා ලියා ඇති පර්යේෂණ ලිපි සංඛ්‍යාව 200 කට අධික වෙයි.
- එතැනින් නොනැවතුණු ඇලෝසියස් පීරිස් පියතුමන් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයට පමණක් නොව ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසකගේ පුද්ගලික හැදෑරීම් සඳහා 1974 ජූලි 07 දින දී තුලන පර්යේෂණායතනය ආරම්භ කළේය. එය එතුමන්ගේ ජීවිත ඉඩමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙයි.
(උපුටා ගැනීම: Kithusara Group එකෙන්)








