අප කොලු කුරුට්ටන් කාලේ නිවසට වඩා කාලය ගත කළේ අපේ ගමේම, එනම් කැලණියේ ගෝනාවල පිහිටි “තුලන” නම් ඇලෝයි පිය අසපුවේය. මේ කියන කාලවකවානුව බොහෝ විට අනූව දශකයේ මුල් භාගය විය යුතුය. මා එහි රැඳී සිටි එක්තරා මොහොතක, තුලනයේ කාටත් ප්‍රිය වූ ඒ මහා ජම්බු ගස අසල සිටින විට ඇලෝයි පියතුමා මා අසලට පැමිණියේය.
“නුවන්, දැන් ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. උන්වහන්සේ වැඩිය සැණින් මට පොඩ්ඩක් කියන්න,” යැයි පවසා පියතුමා පුස්තකාලය දෙසට පියනැගුවේය.
මොහොතකින් සුදු පැහැති රථයකින්, කසාවතක් හැඳි, ශාන්ත වූත්, එහෙත් දුටු පමණින් මහා පරාක්‍රමයක් දැනෙන ස්වාමින් වහන්සේ නමක් මඳ සිනාවක් පාමින් දොර හැර බසින්නට විය. මට ඇලෝයි පියතුමාට පණිවිඩය දීමටත් වඩා සිත් වූයේ ඒ මහා රුව දෙස බලා සිටීමටය. එහෙත් සැනෙකින් ඒ ශාන්ත නෙත් සඟළ මා දෙසට යොමු කරමින්, “Hi Aloy, how are you?” කියමින් උන්වහන්සේ ඉදිරියට වැඩියහ. රථයේ හඬ ඇසුණු ඇලෝයි පියතුමා ඒ වන විටත් තම සග මිතුරා බැලීමට පෙරමුණට පැමිණ සිටියේය.
ඒ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ නමක් ඉංග්‍රීසියෙන් කතා කරනු දුටු පළමු අවස්ථාවයි. ඉන් පසු ඒ මිතුරන් දෙදෙනාගේ දෙබස් බසින් බසට මාරු වූයේ ගසින් ගසට ලේනෙකු පැන යනවාටත් වඩා වේගයකිනි. ඇරඹුණේ ඉංග්‍රීසියෙනි; ඉන් පසු පාලි, සංස්කෘත පවා ඒ දෙබස් අතර විය. තව භාෂා බොහෝ ගණනක් ඒ අතර තිබෙන්නට ඇත. සිංහල ඇසුණේ නම් ඉතාමත් කලාතුරකිනි.
දවස පුරා තුලනයේ ගත කළ මේ යතිවරයාණෝ, දහවල් දානය ද පියතුමා සමඟ ගෙන ඉර බැස යන්නට පෙර නික්ම ගියේ මා උන්වහන්සේට දණ නමස්කාර කරන විට, “සුවේ පත්වේවා පුතා, ජේසු පිහිටයි!” කියා ඉතාමත් ආදරයෙන් මගේ හිස අතගාමිනි.
තුලන ගේට්ටුවෙන් රථය ඇදී ගිය පසු ඇලෝයි පියතුමා විමසුවේ, “නුවන් දන්නවද ඒ කවුද කියලා?” කියාය. මා නොදන්නා බවට හිස සැලූ විට, “ඒ තමයි අපේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ,” යැයි පවසා අදටත් තුලනයට පිවිසෙන තැන ප්‍රදර්ශනය කර ඇති උන්වහන්සේගේ දියසායම් ආලේඛ්‍ය චිත්‍රය පෙන්වීය. එය බොහෝ විට උත්තරානන්ද හිමි ඇඳි සිතුවමක් විය යුතුය.
“මොකද නුවන් හාමුදුරුවෝ දැක්කම හිතුණේ?” පියතුමා අවසානයේ මගෙන් විමසීය.
“මට හාමුදුරුවෝ දැක්ක ගමන් මුළු ඇඟම මොකක්ද වුණා. යනකොට ඔළුව අතගාන කොටත් ඒ හැඟීම දැනුණා,” මට දැනුණු දේ මම අවංකවම කීවෙමි. පියතුමා සුපුරුදු සිනාවෙන්ම, “අයිසේ, එහෙම නොවුණා නම් තමයි පුදුමේ,” කියා සිනාසී යළිත් තම කුටියට වැදුණේය. පසුව ඇලෝයි පියතුමා පැවසුවේ, ඒ දෙදෙනා මේ සංසාරයේ හමුවන අවසන් අවස්ථාව එය බව පවසා උන්වහන්සේ නික්ම ගිය බවයි. එය එසේම විය; බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, ඇලෝයි පියතුමා ස්වර්ගස්ථ වීමට වසර 28කට පෙර, එනම් 1998 දී අපවත්වී වදාළහ.
ඇලෝයි පිය මෙහෙවර ගැන උන්වහන්සේ ස්වර්ගස්ථ වූ මේ මොහොතේ බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් ඒ ප්‍රකාශ නිකුත් කරන ඇතැම් අය දකින විට ‘තුලන අධ්‍යයන කවය’ ලෙස අප විමතියට පත්වීම ස්වාභාවිකය. උන්වහන්සේට ලෝක කතෝලික සභාව තුළ ඉතා ඉහළ පිළිගැනීමක් තිබුණත්, ලංකාවේ කතෝලික සභාවේ ඇතැම් බලධාරීන් ඇලෝයි පියතුමා කෙරෙහි බියක් දැක්වූහ. බොහෝ පදවිවල පූජකවරුන්ට ඇලෝයි පියතුමා හමුවීම පවා සපුරා තහනම් විය.
වරෙක පියතුමාගේ පූජක ජීවිතයේ සැමරුමක් වෙනුවෙන් කොළඹ පදවියේ පල්ලියක් ලබාදීම පවා වළක්වා ලීය. අවසානයේ අප එම උත්සවය පැවැත්වූයේ කොළඹ 07 ඇංග්ලිකානු පල්ලියේය. ඊට පසු අවස්ථාවක ද එය අසාර්ථක වීමට ගිය විට, නි.ම.නි. පියතුමන්ලා ඉදිරිපත් වී මරදානේ පාතිමා දේවස්ථානය අපට ලබා දුන්හ. අද කතෝලිකයන්ට යුක්තිය ඉල්ලා සෑම මංගල්‍යයකදීම දේශපාලන දේශනා පවත්වන ඇතැම් පූජකවරුන්ගේ ක්‍රියාකලාපය දකින විට අපට සිනා යන්නේ එබැවිනි. ඇලෝයි පියතුමා ඔවුන්ට කීවේ “හිස් කයිතාලම්” කියාය. “ගිල්ටි ෆීලින්” එකයි “සුදත් බලයයි” යි දෙකක් බව ඇලෝයි පියතුමා මේවා දකින විට අපට තේරුම් කර දුන්නේය.
උන්වහන්සේට කැලණියේ ප්‍රාදේශීය දේශපාලකයෙකුගෙන් තර්ජන එල්ල වන විට, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පවා කතා කොට ඇලෝයි පියතුමා වෙනුවෙන් පෙනී සිටියේ ආචාර්ය වල්පොල රාහුල හිමියන්ය. ඒ මහා පඬිවරුන් දෙදෙනා අතර තිබූ නොබිඳෙන සබඳතාවයි.
පියතුමා දෙස් විදෙස්හි උගන්වා සොයාගත් මුදල් සහ මිතුරන්ගේ සහය යොදා මහා ප්‍රාතිහාර්යයක් දළුගමදී ඉදි කළේය. ඒ, ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රවණාබාධිත දරුවන්ට සංඥා බස වෙනුවට කතා කිරීමට උගන්වන පාසලයි.
එසේම, භීෂණ සමයේ තුලනය ඇතැමුන්ට තම ජීවිත රැකගත් අභය භූමියක් විය. ඇලෝයි පිය සෙවණේ දිවි රැකගෙන පසුව ඇමතිවරයකු ද වූ එක්තරා දේශපාලකයෙකුගේ මිතුරන් කණ්ඩායමක්, උතුරෙන් පැමිණි දෙමළ ජනයාට පහර දුන් විට, ඒ අහිංසකයන්ට ද අභය භූමිය වූයේ තුලනයයි. තුලනයෙන් ජීවිතය බේරාගත් අයගේ මිතුරන්ම පසුව දෙමළ ගොදුරු සොයමින් තුලනය දෙස උකුසු ඇස් යොමා සිටියහ.
ඇලෝයි පියතුමාගෙන් දැනුම ලැබූවන් අතර ගෝනාවල තුලන පාරේ සවසට හරක් පට්ටිය රැගෙන යන සිමියොන් අයියාගේ සිට වතිකානුවේ ෆ්‍රැන්සිස් පාප්තුමා දක්වා විශාල පිරිසක් සිටිති. විශේෂත්වය නම්, තුලනයෙන් ශාස්ත්‍රීය දැනුම ලැබූ බොහෝ දෙනෙක් හැඳ සිටියේ සුදු ලෝගු වෙනුවට කසාවත වීමයි.
ගරු ඇලෝසියස් පීරිස් පියතුමාගේ ජීවන තොරතුරු සහ ශාස්ත්‍රීය මෙහෙවර
උපත සහ පවුල් පසුබිම
- සම්පූර්ණ නම: මේරියන් රෙජිනල්ඩ් ඇලෝසියස් පීරිස්.
- උපන් දිනය: 1934 අප්‍රේල් 09.
- උපන් ස්ථානය: මහනුවර, අම්පිටිය.
- පවුල: දරුවන් 12 දෙනෙකුගෙන් යුත් පවුලක දසවෙනියාය. පියා අම්පිටිය ඉංග්‍රීසි විදුහලේ විදුහල්පති වෝල්ටර් ජෝන් පීරිස් මහතා වූ අතර මව සේතුංග මුදලිගේ ඩෝන ඇන්සලමිනා මහත්මියයි.
මූලික අධ්‍යාපනය සහ භාෂා නිපුණතාව
- පාසල්: අම්පිටිය ශාන්ත මරියා විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල.
- භාෂා කුසලතාව: වයස අවුරුදු 12 දී ලතින් භාෂාව ඉගෙනීම ආරම්භ කර වසර 2 කින් බයිබලය කියවීමේ දක්ෂතාව ලැබීය. පියාගේ මගපෙන්වීම මත පාලි හා සංස්කෘත භාෂා හැදෑරීය.
- උසස් පෙළ: 1953 වසරේදී ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් සමත් විය.
පූජක පුහුණුව සහ උසස් අධ්‍යාපනය
- ජේසු නිකායට ඇතුළත් වීම: 1953 දී ඉන්දියාවට ගොස් ජේසු නිකායට සම්බන්ධ විය.
- උපාධි: ඉන්දියාවේදී දර්ශනය පිළිබඳ (L.Ph) උපාධිය ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පාලි සහ සංස්කෘත භාෂාවන් සඳහා ශාස්ත්‍රවේදී (B.A.) උපාධිය ද ලබා ගත්තේය.
- සංගීතය: 1964 දී ඉතාලියේ වෙනීසියේදී සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තේය.
- පූජකවරය: 1965 ජූලි 04 දින රෝමයේදී ජේසු නිකායික පියතුමෙකු ලෙස පූජකවරය ලැබීය.
- ආචාර්ය උපාධිය (PhD): 1971 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. (මෙය බෞද්ධ නොවන අයෙකුට මෙරටදී පිරිනැමූ ප්‍රථම ආචාර්ය උපාධියයි).
විශේෂ මෙහෙවර සහ ආයතන බිහිකිරීම
- තුලන පර්යේෂණායතනය: 1974 ජුනි 07 දින අන්තර් ආගමික සංවාදය සහ විමුක්ති කතිකාව උදෙසා ආරම්භ කරන ලදී.
- සමාජ සේවය: දළුගම ප්‍රදේශයේ ශ්‍රව්‍ය හා කථන ආබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ ශික්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම.
- බුද්ධිමය මැදිහත්වීම: තිස්ස බාලසූරිය පියතුමාව සභාවෙන් නෙරපීමට ගත් උත්සාහයේදී ඒ වෙනුවෙන් බුද්ධිමය වශයෙන් මැදිහත් වීම.
ජාත්‍යන්තර පිළිගැනීම
- කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ්, ලන්ඩන් සහ රෝමයේ ග්‍රෙගෝරියානු සරසවිවල දේශකවරයෙකු ලෙස කටයුතු කළේය.
- වොෂින්ටන් සහ නිව්යෝක්හි දේවධර්ම සෙමනේරිවල මහාචාර්ය පදවි දැරීය.
- 1987 දී ටිල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය (Honoris Causa) උපාධිය ලැබීය.
ප්‍රමුඛ කෘති කෘති 30 කට අධික ප්‍රමාණයක් සහ පර්යේෂණ පත්‍රිකා 500 කට වඩා ප්‍රකාශයට පත් කර ඇත.
- An Asian Theology of Liberation
- Love meets Wisdom: A Christian Experience of Buddhism
- Fire and Water: Basic Issues in Asian Buddhism and Christianity
- නාසරතයේ ජේසුස් හා භාරතයේ යේසුස්
- Sravaka: A Buddhist-Christian Dialogue on Monasticism
ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හඳුන්වා ඇත. ‘පීරිස් පියතුමාණෝ ධර්මධර ව, විනයධර ව, ඥානවෘද්ධ ව, චිරකාලඥ ව, ශාස්ත්‍ර සාගරයේ නිමග්න ව අපිස් සතොස් ගුණයෙන් ශෝභමානව වාසය කරති, පීරීස් පියතුමාණන් ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලෝකයේ ඥාන විද්වජ්ජන ප්‍රදීප මාලාවේ අවසන් සිළුවකැයි පැවසීම සපුරාම අර්ථවත් ය’
“ලුණු අපිට මතක් වෙන්නේ ලුණු වැඩි වුණාම හරි අඩු වුණාම හරි ලුණු හරියටම තියන වෙලාවට අපි ලුණු රහයි කියන්නෙ නෑ කෑම රහයි කියලයි කියන්නෙ අපි ලුණු වගේ වෙමු” – ඒ ඇලෝයි පිය වදන් ය.
තුලන අධ්‍යයන කවය වෙනුවෙන් නුවන් ජූඩ් ලියනගේ (2026.03.24 දිනමිණ පුවත්පතට ලියූ ලිපිය)








